Home Latest News විහාරාධිපති හිමි ඝාතකයා වඩේ වෙළෙන්ඳෙක්

විහාරාධිපති හිමි ඝාතකයා වඩේ වෙළෙන්ඳෙක්

0 second read
0
0

පින්දෙණිය පොතුකොළ දෙණියේ ශ්‍රී විවේකාරාම විහාරාධිපති රොටුඹේ චන්ද්‍රානන්ද (87) හිමියන්ගේ ඝාතනයට වඩේ වෙළෙන්ඳෙක් පින්දෙණිය පොලීසිය පෙරේදා (10) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල පොලිස් වසමට අයත් අඟුරුවැල්ලේ පදිංචිකරුවෙක් වන හැටදෙහැවරදි එම වඩේ වෙළෙන්ඳා විහාරාධිපති හිමියන් ඝාතනය කර ඇත්තේ රුපියල් 10,000ක මුදලක් පොලියට ඉල්ලා එය නොදීම නිසා බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

වඩේ වෙළෙන්ඳා අගුරුවැල්ලේ පදිංචිකරුවෙක් වූවත් පින්දෙණිය අරන්දන සිය දියණියගේ නිවසේ සිට වෙළදාමේ නිරතව සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

විහාරාධිපති හිමියන් ඝාතනය වූ දා පෙරවරුවේ දී අටපිරිකරයක් ඇතුළු පූජා භාණ්ඩ කිහිපයක් උන්වහන්සේ වඩේ වෙළෙන්ඳාට ලබා දී විකුණා ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. එහිදී ඔහු විහාරාධිපති හිමියන්ගෙන් පොලියට මුදල් ඉල්ලා ඇති බවත්, මීට පෙර ගත් මුදල් ලබා දී නැවත මුදල් ඉල්ලන ලෙස එහිදී උන් වහන්සේ ඔහුට දැනුම් දී තිබේ.

එදින සවස විහාරාධිපති හිමියන් විහාරස්ථානයට පැමිණි පසු රාත්‍රී 7ට පමණ ඔහු උන්වහන්සේ මුණගැසීමට විහාරස්ථානයට පැමිණ ඇති බවත්, එහිදී නැවතත් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත්, පොලීසිය පවසයි. විහාරාධිපති හිමියන් මුදල් දීම තරයේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ගැලවී තිබුණු ජනේල් උලුවහුවකින් හිසට පහරවල් දෙකක් එල්ලකර උන්වහන්සේ ඝාතනය කර ඔහු පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය නිල සුනඛයා යොදා එම ස්ථානයේ තිබුණු ආගන්තුක විදුලි පන්දමක් සහ රුපියල් 10යේ කාසියක් ඔස්සේ කළ විමර්ශනයක දී විහාරස්ථානයේ පිටුපස ඇති අඩි පාරක් දිගේ සුනඛයා ගමන් කර සැකකටයුතු නිවසක් අසල නතර වී ඇත. එම නිවසේහිමිකරු සහ විහාරාධිපති හිමියන් අතර ආරවුලක් පැවැති බව ගම්වාසීන් පැවසීම හේතුවෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගැනිණි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට තමාගේ සම්බන්ධයක් නැතැයි පැවැසීම හේතුවෙන් පොලීසිය යළි විමර්ශන ආරම්භකර තිබේ.

විහාරාධිපති හිමි ඝාතනය වූ දින රාත්‍රී 9ට පමණ විහාරස්ථානයේ සිට වඩේ වෙළෙන්ඳාගේ හැඩරුව ඇති පුද්ගලයකු වේගයෙන් ගමන් කරනු දුටු බව ගම්වැසියන් දෙදෙනෙක් පොලීසියට පවසා තිබිණි. වඩේ වෙළෙන්දාට රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති බව උන් වහන්සේ සටහන් තැබූ පොතක් ද පොලීසියට හමුවී ඇත. ඝාතනයෙන් පසු වඩේ වෙළෙන්ඳා විහාරස්ථානයට නොපැමිණීම ද පොලීසියේ දැඩි සැකයට ලක්ව තිබේ. ඒ අනුව ඔහු පදිංචිව සිටි දියණියගේ නිවසට පොලීසිය ගිය විට හෙළිව ඇත්තේ 5දා රාත්‍රියේ සිට ඔහු නිවසට පැමිණ නැති බවය. ඒඅනුව පින්දෙණිය පොලීසිය පෙරේදා (10) එම පුද්ගලයා පදිංචි අඟුරුවැල්ලේ නිවසට ගොස් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු එම ඝාතනය තමන් කළ බව පිළිගත් බවද පොලීසිය පවසයි. විහාර භුමියේම සඟවා තිබී විහාරාධිපති හිමියන්ට පහරදුන් ලේ තැවුරුණු ජනේල් උළුවහු කැබැල්ල ද පොලීසිය සොයාගෙන තිබේ. නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන, පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල යන මහත්වරුන්ගේ උපදෙසින් පින්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතා ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක රත්නායක, සැරයන් සේනාධිර සහ කොස්තාපල් වීරසූරිය යන නිලධාරීන් විහාරාධිපති හිමිගේ ඝාතකයා කොටුකර ගැනීරමේ පරීක්ෂණ මෙහෙය වූහ.

ගයාන් කුමාර වීරසිංහ (දිනමිණ)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…